නිල් දිය පොකුණ - Nil Diya Pokuna

ප්‍රවාදයත් පුරාවෘත්තයත් යනු මුළුමනින්ම වෙනස් වූ අර්ථයන් දෙකකින් හෙබි වචන දෙකකි. නමුදු අද මා පවසන්නට තැත් කරනුයේ අතීත පුරාවෘත්තයන්හි අභාශයෙන් වර්තමානය ගොඩ නැගූ ප්‍රවාදයක් පිළිබඳව ය. 'නිල් දිය පොකුණ' ඇසූ සැණින් සිරිලක බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් ලෙසිනි. මන්ද යත් එදා මෙදා තුර මෙරටින් මතුවූ විශාලතම භූගත ගල් ගුහාවත් එහි එක් අවසානයක පිහිටා ඇති විනිවිද පෙනෙන තරමේ සුපිරිසිදු ජලයෙන් පිරුණු පොකුණත් නිසාවෙනි. ඒ හැරුණු කොට ශෛලමය උමං මුඛය ඔස්සේ භූගත ගල් ගුහාව වෙත යායුතු මාර්ගයෙහි අඩියක් අඩියක් පාසා ඇති මර්මස්ථානයන් නිසාවෙන් හැඟෙන භීතියත් එහි අවසානයෙහි ගොඩ වැදෙන කෑලි කැපෙන ඝන අඳුරෙහි ගිලුණු සුවිසල් ගල් ගුහාවත්, පිටත සිට ඒ දෙස බලන්නන් වෙත දනවන ගුප්තීය හැඟීමද බොහෝ දුරට නිල් දිය පොකුණෙහි විශේෂත්වයට තුඩු දුන් හේතුවකි. මීට වසර කිහිපයකට ප්‍රථම සොයා ගත් රාවණා උමඟ නව අරුතකින් කරලියට එන රාවණා උමඟ නමින් පටබැඳෙනුයේ කෙලෙසදැයි යන්න සාක්ෂි සාධක සහිතව කියා පෑමට සමත් කෙනෙකු මුණ නොගැසුනද ගමන ආරම්භයෙහි දීම ඒ බැව් හැඟෙන්නට වීම නම් අතිශයින්ම ආශ්චර්යමත් ය.

කිසිදු සටහනක් නොමැති ස්ථානයකින් වනය තුළට පිවිසීමෙන් පසුව සැලකිය යුතු දුරක් කඳු බෑවුම ඔස්සේ පා නැගිය යුතුය. ඉදින් දක්නට ලැබෙනුයේ රාවණ උමඟෙහි පිවිසුමයි. උමං මුඛය පිහිටා ඇත්තේ උස් ගල් කුළු දෙකකට මැදිව ය. ගමනට අත්‍යාවශ්‍ය දෑ පමණක් ම මළු තුල ඉතිරි කර ගනිමින් ද එක් අයෙකුට එක් අතකට බැගින් වන විදුලි පන්දම් ගනිමින් ද අප ගමනට සූදානම් විය.
උස් ගල් කුලෙන් බැස ගල් දෙබොක්කාවෙන් රාවණ උමඟට පිවිසෙනවාත් සමඟම දැල්වෙන විදුලි පන්දම් සෑම අඩියක් පාසාම ගමන් මං පෙතෙහි භූමිය දෙපස නිරන්තරයෙන් එළිය කළ යුතු ය. මන්ද යත් ඉදිරියට තබන සෑම අඩියක්ම ගිලගැනීමට මුව අයා සිටින අනන්ත වූ ප්‍රපාතයන්ගෙන් රාවණ උමඟ සමන්විත බැවිනි. සමහර ස්ථාන වල ගැබුර කිව නොහැකි තරම්ය. සියළු විදුලි පන්දම් බැටරි ශක්තියෙන් පරිපූර්ණ වීමත් මෙම ගමන සුභදායකව නිම කිරීමට උපකාර වනු ඇත. කිලෝමීටරයකට ආසන්න වූ මෙම උමං මාර්ගයෙහි අවසානය පිවිසෙනුයේ ඉමක් කොනක් නොපෙනෙන භූගත ගල් ගුහාවකට ය. හූ හඬක දෝංකාරය තත්පර කිහිපයක් යන තුරු ම රඳා පවතින තරම් විශාල වූ මෙම ගල් ගුහාව වවුල්ලුන්ගේත් වැහිලියන්ගේත් රජ දහනකි. එක් පසෙකින් ඇසෙන ජලය බැස යන හඬ සිතෙහි ඇති කරනුයේ ගුප්තීය කුතුහලයකි. දේශගුණික විපර්යාසයන් හමුවේ ඉහල ප්‍රදේශයන්ගෙන් සහ ලෙන් වහලයෙන් කඩා වැටුණු විසල් ගල් කුට්ටි ගුහාව තුල ඇති අතිශය අනතුරුකාරී බව හොඳින් අඟවද්දී එතැන් සිට නිල් දිය පොකුණ දක්වා යායුත්තේ කිනම් දිශාවටදැයි යන්න නම් කිසිසේත්ම සිතා ගත නොහැක. බෑවුම ඔස්සේ ඇති ගල් කුට්ටි මතට පා තබමින් විත් දකුණු පස විසල් ගල් කුළු දෙකකට මැදිව ඇති අරය අඩි 3කට නොවැඩි භූමි මුඛයෙන් ඇතුළුවූ පසු යළිත් හමුවනුයේ ගමන ආරම්භයෙහි පැමිණියා මෙන් වූ විසල් ප්‍රපාතයකින් හෙබි බෑවුම සහිත පටු මං පෙතකි. එහි වම් පසින් වන ප්‍රපාතය ඉමක් කොනක් නොපෙනෙන තරම් ය. කොයි මොහොතක හෝ බෑවුම ඔස්සේ රූටා යැයි සිතෙමින් අඩියෙන් අඩිය පහලට කිලෝමීටරයක් පමණ ඇදුණු අප නිල් දිය පොකුණට ලඟා වී සිටියෙමු. මෙහිදී ජලය කකුලේ දැවටෙන තෙක් අප පොකුණට සමීප බව නොදැනුණේ පොකුණේ ජලය ඒතරම් නිසල නිසාය. පොකුණට බැසීමට ඇති අඩි පාරට මෙපිටින් වූ ගල් කුලක් මත හිඳ ගත් අප අවට පිරික්සීම පසෙකලා විදුලි පන්දම් ආලෝකයෙන් නිල් පැහැ ගැන්වුනු නොසෙල්වෙන දිය දහර දෙස නෙත් නොපියා බලා හිඳින්නට වීමු. සැබවින්ම එය මනස්කාන්ත ය. මඳ වේලාවකින් දණක් වතුරෙහි බැසි අප අවට පරීක්ෂා කලෙමු. දකුණු පසින් පොකුණෙහි මායිමක් පෙනෙනුයේ අප සිටි තැන සිට අඩි 40කට ආසන්න දුරකිනි. වම් පසින් ද බොහෝ දුරට ඊට සමාන ය. ඉදිරියෙන් වූ ගල් කුල පොකුණත් ලෙන් වහලයත් යා කරන්නක් විය. එය ඉවුරෙහි සිට අඩි 15ක පමණ දුරින් පිහිටූවකි. එලෙසින් වූ ගල් කුලෙහි බිත්ති වම් පසටත් දකුණු පසටත් විහිද යමින් මායිම් බිත්ති යා කරන්නට වුවද පොකුණ මධ්‍යයට වන්නට පිහිටා ඇති මෙම ගල් බැම්මෙන් එපිටට ද පොකුණ පිහිටා ඇති බැව් පොකුණෙහි දකුණු පස පිවිසුමෙහි හිඳ බැලූ විට පෙනිණි. පොකුණ මධ්‍යය අඩි 15ක් පමණ ගැබුරු ඇතැයි බැලු බැල්මට පෙනුනද එහි ගැබුර සත්‍ය ලෙසම අඩි 80ක් පමණය.
මෙම උමග තුල හදුනා නොගත් තවත් උමන් රාශියක් ඇත. ඉවුරට ආසන්නයේ පොකුණු පත්ල මුළුමනින්ම කළු ගල් කුට්ටිවලින් හෙබි වුවද අඳුරින් වැසී ගිය ප්‍රදේශයේ පත්ල ගල් තලාවකින් නිමව ඇති බව නිගමනය කළ හැක. මන්ද යත් එක් තලයක් ලෙසින් ලෙන් වහලෙයෙහි සිට පොකුණෙහි ජල මට්ටම දක්වා පිහිටා ඇති විසල් ගල් පවුර නිසාවෙනි. පොකුණෙහි ජලය තරමක් කැලතූ විට මතුවන ධූලි අංශු රාශියකින් පොකුණ බොර වුවද මඳ වේලාවකින් පෙර වූ සුපැහැදිලි ජල තලය මතු වනුයේ එම ධූලි අංශූන් මුළු මනින්ම පාහේ කළු ගල් ක්ෂයවීමෙන් පතිත වූ බර අංශූන් බව සනාථ කරමිනි. පොකුණෙහි වටපිටාව පිරික්සූ විට දක්නට ලැබෙන තවත් පිවිසුම් මාර්ගයක් ඇති නමුදු එය විසල් ආනතියකින් යුත් එකක් විය. ඒ හැරත් මෙම පොකුණ කාගේ හෝ නිර්මාණයක් බැව් පැවසීමටද ප්‍රමාණවත් සාක්ෂීන් අවට දක්නට නැත. දැනට දක්නට ලැබෙන පිවිසුම් මාර්ගය මෙහි සැබෑ පිවිසුම් මාර්ගය නොවන බැව්ද ඉවුරෙහි සිට බැලූ විට වැටහේ. එනම් පොකුණට පිවිසි විටම පාහේ අඩි කිහිපයකින් ගැඹුර හමුවන බැවිනි.

රාවණ පර්යේෂකයින්ගේ මතය පරිදි නිල් දිය පොකුණ සීතා දේවිය ජල ස්නානය කළ ස්ථානයත් එපිටින් වූ විසල් ගල් ගුහාව රාණ රජු සීතා සඟවා තැබූ ස්ථානයත් වෙයි. එය එසේ පැවසීමට සෘජු සාක්ෂි දැකගන්නට නොමැති වුවද මීට තරමක් සමාන ලොව අනෙක් භූගත ගුහාවන් දෙකක් වන 'නිව් මෙක්සිකොවෙහි ලෙචුගිල්ලා' ගුහාවත් 'චෙකොස්ලෝවැකියාවේ ඩොමිනිකො' ගුහාවත් සමඟ සැසඳීමේදී කරඳගොල්ලේ මෙම ගුහාව අතිශය සුවිශේෂී වේ. මන්ද යත් එම ගුහාවන්හි ඇති ජලයේ දක්නට ලැබෙන අධි සාන්ද්‍ර සල්ෆර් ප්‍රමාණයන් නිල් දිය පොකුණෙහි ජලයේ දක්නට නැත. මෙම පොකුණේ ජලය පානය කිරීමට අතිශයින්ම සුදුසුය. එමගින් නිල් දිය පොකුණ භූ ගත උල්පතින් පෝෂණය වන බවට කිසිදු සැකයක් නැත. අනෙක් කාරණය වනුයේ ලෙචුගිල්ලාවෙහි හෝ ඩොමිනිකෝවෙහි පොකුණු පත්ලේ ඇති ඛණිජමය භූමිය වෙනුවට නිල් දිය පොකුණ පත්ලේ දක්නට ඇත්තේ කළු ගල් කුට්ටි වීමත්ය. එබැවින් මෙම සුවිශේෂී පොකුණත් භූගත ගල් ලෙනත් අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළ යුතු ව ඇත. මන්දයත් එම සුවිශේෂීභාවය හමුවේ හෙළිදරව් වීමට තැත් කරන පෞඪ ඉතිහාස කතාවක් අපට ඉඟි කරන බැවිනි. මේ හේතුවෙන්ම නිල් දිය පොකුණ රාවණ ඉතිහාසයෙහි එක් සන්ධිස්ථානයක් වී හමාරය.

පොකුණ ලග විනාඩි 45ක්ගපමණු කාලයක් සිටි අප පොකුණේ වතුරෙන් තිබහ නිවාගෙන නැවතත් එන්නටපිටත් විය. පැමිණි මග දිගේ ටික දුරක් ගමන් කර දකුණු දෙසට ගිය තැන්හි හමුවන විසල් ලෙන් මුල්ලෙහි දක්නට ලැබෙනුයේ සැබවින්ම දෙනෙත් අදහා ගත නොහැකි දසුනකි. එය මුළුමනින්ම පාහේ ශේෂ ව ගිය විසල් කාමරයක හැඩ ගති. අප විදුලි පහන් එලි දෙපසට හා උඩට එල්ල කරත් අපට එලිය ගල් වල වදින පාටක් පෙනෙන්නට නොතිබිණි. මා අසා තිබු කතාවක් මෙහෙදී මට මටක් විය මේ උමගේ එක පසක් ඇති කාමරයක තට්ටු 5ක පමණ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තරම් ඉඩ තිබේ යැයි. මෙහි ගිය අපට එහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි විය. පැය කිහිපයකට පසුව නැවටත් හිරු එළියේ පහස විදීමට අපට හැකි විය. විශේෂ අවසරයකින් තොරව මෙහි ගමන් කිරීම තහනම්ය.

ලංකාවේ පරිසර පද්දතිය වේගයෙන් විනාශ වී යන මෙවන් කාලයකදී ඔබගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය විනාශ කරන්නේ නැතුව එය රැක බලාගන්නා ලෙසයි. ඔබ හුස්ම ගන්නා එක හුස්ම පොදක් පාසා ඔබ පරිසරයට ස්තූති විය යුතුයි. ඉතින් මිහි මවට ඔබ අවැසිය..., පරිසරය රැක ගැනීමට පෙලගැසෙමු. මතකයන් පමනක් ඉතිරි කර ගෙනියන සියලු දේ රැගෙන එන්න වග බලාගන්න.
IMG_7524 IMG_7531 IMG_7550 IMG_7551 IMG_7557 IMG_7559 IMG_7555 IMG_7558 IMG_7561 IMG_7564 IMG_7565 IMG_7566 IMG_7567 IMG_7569 IMG_7582 IMG_7573 IMG_7577 IMG_7587 IMG_7595 IMG_7589
IMG_7592 IMG_7596 IMG_7597 IMG_7598 IMG_7601 IMG_7636 IMG_7647 IMG_7639 IMG_7610 IMG_7648 IMG_7653















Comments