top of page

Meemure Through Knuckles Mountain Range - නකල්ස් කදු වැටිය හරහා මීමුරේට

"මිමුරේ" කිවුව ගමන් ඔබට මොනවද මතක් වෙන්නේ?

ලස්සන සුන්දර ගම්මානයක් කියලා වෙන්න ඕනි. එත් ඒ එක්කම මට තව පොඩි දේකුත් මතක් වෙනවා. ඒ තමයි මේ සුන්දර ගම දැන් තනිකරම ව්‍යාපාරික ස්තානයක් වෙලා. කාගේ කොතැනක වැරැද්දක්ද කියලා හරියටම කියන්න බැරි උනත් ඒ වැරැද්ද හරිගස්සන්න බැරි තරමටම උඩු දුවලා ඉවරයි. සමහරක් වාර්තා වලට අනුව සමහර සති අන්ත වල සංචාරකයන් දෙදහස පැනලා මෙම ගමට එනවලු. ඉතින් චුට්ටකට හිතලා බලන්න එකවර මිනිසුන් දාහක දෙදාහක බර කොහොමද එම පරිසරය දරාගන්නේ. මේ විදිහට ගියොත් මීමුරේ කියන සුන්දර ගමත් මතකයක් විතරක් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි.

දවස් තුනක් මොකද කරන්නේ..? මුලින් අරෙහේ යමු මෙහේ යමු කියලා විවිද අදහස් ආවත් අන්තිම මොහොතේ නකල්ස් කදු මුදුන් හරහා මීමුරේ ගම්මානයට යෑමට අපි තීරණය කරේ කෙලින්ම මීමුරේ ගම්මානයට යනවට වඩා වෙනස් දෙයක් කරන්න හිතාගෙන. මන් මීට පෙර පස් පාරක් විතර නකල්ස් රක්ෂිතයේ විවිද කදු වල ඇවිද්දත් නකල්ස් කදු හරහා මීමුරේ ගමට ගිහින් තිබුනේ නෑ.

"මචන් කොච්චර විතර ඇවිදින්න තියනවද?" ඒ මාපටයි, පිටිගලටයි තිබ්බ පලවෙනි ප්‍රශ්නේ. මුන් දෙන්නා කොහොමත් ඇවිදින්න හොරයි.

කොහොමෙන් කොහොම හරි අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරගෙන සෙනසුරාදා උදේ තුනට විතර කටුබැද්දෙන් නුවර බස් එකකට නැග්ගේ සදුදා වෙද්දී මීමුරේ ගමට යනවා කියලා හිතාගෙන. උදේ දහය විතර වෙනකොට නකල්ස් කදු මුදුන් වලට පහලින් ඇති ගම්මානෙට එන්නට අපිට පුළුවන් වුණා. දැන් ඉතින් හා හා පුරා කියලා ගමන පටන් ගන්න තියෙන්නේ. ගමේ ඉදන් කන්ද පාමුලටත් කිලෝමීටර හතරක් විතර යන්න ඕනි.

"කපල් ඇල්ලත් බලාගෙන යමුකෝ බන්" ඒ පාලමාගේ අදහසයි. කපල් ඇල්ල කියලා තියෙන්නේ සුන්දර ජෝඩු ඇල්ලට.

ජෝඩු ඇල්ල

"ජෝඩුවට කියන්නේ ඉතින් කපල් කියලනේ. කොහොම කිවුවත් වැරද්දක් නෑ නේ" ඒ ඔහුගේ මතයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරකෂිත වනාන්තරය මෙම නකස්ල් හෙවත් දුම්බර වනපෙතයි. 2000 මැයි මස 5 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති මෙම වනාන්තරයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 21000 (අක්කර 52500) ක් පමණ වේ. දල වශයෙන් වර්ග කි.මී. 234 ක් පූරා වනාන්තරය පැතිර පවතී. මෑතකදී යුනෙස්කෝව විසින් මෙය ලෝක උරුමයක් ලෙසද නම් කරන ලදී. නකල්ස් වනයේ අඩි 3000 ඉහළ කලාපයේ හොඳින් හඳුනාගත හැකි කඳුමූදුන් 35 ක් පවතින අතර, එහි කඳුවැටි ගණන 17 ක් පමණ වේ. උසම කඳුමූදුන වන “ගොම්බානීය” (අඩි 6248) හා "නකල්ස්” අඩි 6112 වේ. අප ගමන වැටී තිබෙන්නේ මෙම අඩි 6112 ක් උස නකල්ස් කන්ද හරහා. එක කන්දක් කියලා කිවුවට ඇත්තටම මෙම කදු පන්තියේ කදු පහක් තියෙනවා. මෙම කඳුවැටි නිරතුරුව මිහිදුමෙන් බරව පවතින බැවින් අතීතයේ පටන් “දුම්බර” (දුමින් බර) ලෙස හා බට වර්ගවලින් පොහොසත් බව අනූව “බටදඬූ කඳුවැටිය” ලෙස හා බටඅඩූ කන්ද” ලෙස ගැමියන් දුම්බර හඳුන්වා ඇත. වයඹ සිට ගිනිකොණ දිශානූගතව විහිදුණූ ප්‍රධාන කඳුවැටියකින් සහ ඊට යාවූණූ ලම්බකව විහිදුණූ කඳුපන්ති තුනකින්ද, ඊට යාවූණූ එහෙත් ප්‍රධාන කඳුවැටියටම සමාන්තරව විහිදුණූ තවත් කඳුපන්ති කිහිපයකින් දුම්බර කඳුකරය සමන්විත වේ. ප්‍රධාන කඳුවැටිය ලග්ගල සිට ඌරුගල දක්වා සැතපූම් 12 ක් පූරාවට දිවෙන අතර එහි පිහිටි කඳුමූදුන් අතර කවූඩාගම්මාන (අඩි 4970), කිරිගල්පොත්ත (54031), ගොම්බානීය (6248), නකල්ස් (6112), කොබෝනීලගල (5098), දෝතළුගල (5164), ප්‍රධාන වන අතර ප්‍රධාන වැටියෙන් ඉවතට දිවෙන කඳුවැටි අතර වන්නිමාන (5110), ලකේගල (4324), කළුපහන (5341), දුම්බානාගල (5389), කෙහෙල්පොත්දොරුව (5016), ගල්තුන (3787) ප්‍රධාන වේ.

කන්ද නගින්න පටන් ගන්නකොටම හම්බෙන ඊලග දිය ඇල්ල තමයි නකල්ස් ඇල්ල කියන්නේ.

මීටර දහයක පමණ උසකින් යුතු මෙම දිය ඇල්ලත් ඉතාමත් සුන්දර ඇල්ලක්. අයිස් වගේ සීතල මෙම දිය ඇල්ලේ වතුර පාරට ඔලුව අල්ලලා නාද්දී තියන සනීපේ විදලම බලන්න වටිනවා. දහවල් කෑම වේලට පාන් පෙති දෙක, තුනකින් බඩ පුරෝගෙන ඔක්කොම බෝතල් වලට වතුර පුරව ගත්තේ මෙම ඇල්ලෙන් පසුව දෙවන දවසේ නවතින්න ඉන්න තැන වෙනකන් ගොඩක් දුරට වතුර හම්බෙන්නේ නැති නිසා. දැන් වේලාව දවල් එකත් පහු වෙලා. අද දවසේ රෑ හතරවෙනි කන්ද මුදුනේ කුඩාරම් අටවගන්න තමයි අපේ අරමුණ. දැනටමත් හොදටම පරක්කුයි. කෝකටත් කියලා මායි රුක්මනුයි, සිසිතයි, ජනකයි මුලින්ම ගියේ රෑ වෙන්න කලින් තැනක් හොයාගෙන කුඩාරම අටවාගන්න කියලා හිතාගෙන. ඇල්ල ලග ඉදලා මීටර සියක් යන්න උනේ නෑ පලාතම කළු කරගෙන අයිස් කැට වැටෙනවා වගේ මහ වැස්සක් කඩා වැටෙන්න ගත්තා. කරන්න දෙයක් නෑ කොහෙවත් නැවතිලා ඉන්න වෙලාවකුත් නෑ. හවස හයවත් වෙනකොට නවතින තැනට ගිහින් තියෙන්න ඕනි. වැස්සේම අපි කන්ද උඩට නගින්න පටන් ගත්තේ ඉතාමත් අමාරුවෙන්.

වැස්සත් එක්ක කුඩෑල්ලෝ ඇවිස්සිලා එක අඩියක් තියනකොට කුඩෑල්ලෝ පස්, හය දෙනෙක් කකුලේ නැගලා ඉවරයි. ඉතාමත් දුෂ්කර නැග්මවල් එක්ක හවස හතර කිට්ටු වෙනකොට අපි හතර දෙනා පලවෙනි කදු මුදුනට ගොඩ වුණා. අනෙත් කට්ටිය තාමත් කන්ද නගින ගමන්. කදු පහකින් යුතු මෙම කන්දේ උසම කන්ද දෙවැනි කන්දයි.අඩි 6112 ක් උස මෙම කන්ද දුම්බර කදු වැටියේ දෙවැනියට උසම කන්දයි. පලවෙනි කන්ද නැග්ගට පස්සේ කදු මුදුන් වලින් තමයි ඊලග කදු වලට යන්න තියෙන්නේ. පොඩි බැස්මක් එක්ක නැග්මකින් පස්සේ දෙවැනි කන්දට ගොඩ වෙන්න අපිට පුළුවන් වුණා. දෙවැනි කන්ද මුදුනේ ටික වෙලාවක් ගිමන් හැරපු අපි නැවටත් ගමන පටන් ගත්තේ පොඩි පොදයකුත් එක්ක. තුන්වෙනි කන්දේ ඉදන් හතරවෙනි කන්දට යනකොට හම්බෙන්නේ කෙලින් හිටගෙන යන්නවත් බැරි සුලන් කපොල්ලක්. කන්ද හරහා හමාගෙන යන මුළු හුලන් පාරම කන්දෙන් එහා පැත්තට යන්නේ මේ හුලන් කපොල්ලෙන්.

මෙතනින් චුට්ටක් හරි කකුල ලිස්සුවොත් කන්ද පහලින් කෑලි ටික එකතු කරගන්න තමයි වෙන්නේ. කොහොමෙන් කොහොම හරි හතරවෙනි කන්දටත් අපි හතර දෙනා ආවා. වැස්ස පොඩ්ඩක් අඩු උනත් මීදුම මුළු කන්දම වහගෙන හිටියේ. හතරවෙනි කන්දේ රෑ ඉන්න බෑ කියලා අපිට තේරුන් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ තරම් කුඩෑල්ලෝ තොගයක් තමයි ඒ හරියේ හිටියේ. ඇත්තම කියනවා නම් ගෝනි ගණනක් උනත් අල්ලගන්න පුළුවන්.

"දැන් මොකද කරන්නේ ?" ඒ රුක්මන් මගෙන් ඇසූ ප්‍රශ්නයයි. මීදුම අතරිනි අපි පහු කරන් ආපු තුන්වෙනි කන්ද මුදුනේ කවුශාලුයි, සහනුයි, යෝහානුයි, ඉන්නවා පේනවා.

"මේකේ ඉන්න කොහොමත් බෑ නේ, තුන් වෙනි එකෙයි දෙවෙනි එකෙයිත් කුඩාරම ගහගෙන ඉන්න පුළුවන් තැනක් තිබ්බේත් නෑ. පස් වෙනි එකේ තනිකරම ගස් තියෙන්නේ, ඒ කන්දේ කොහොමත් ඉන්න බෑ. අපි ආයේ පලවෙනි කන්දට යමු. පලවෙනි කන්දේ ඉඩ තිබ්බා." මගේ අදහසට අනුව ආයේ පලවෙනි කන්දට එන්නට හැරුනේ කරන්නම දෙයක් නැති තැන.

තුන්වෙනි කන්දෙයි දෙවැනි කන්දෙයි හිටිය කට්ටියවත් එක්කගෙන ආපුහු පලවෙනි කන්දට එනකොට සවස හයටත් කිට්ටුයි. ඇදුම් වලින් වතුර මිරිකලා ගන්න පුළුවන් ඒ තරමට අපි හොදටම තෙමිලා. මේ තෙතේ පොඩි ගින්නක් වත් පත්තු කරගන්න එක හිතන්නවත් බැරි වැඩක්. කුඩෑල්ලෝ කාලා ගොඩක් අයගේ අත්, කකුල් වලින් ලේ වැක්කෙරෙනවා. මේ ඔක්කොම අමතක කරලා කුඩාරම ඉක්මනට ගහගන්න හැදුවේ තව පොඩි වෙලාවකින් පලාතම කළුවර වෙන නිසා

පහුවදා උදේම ගමන පටන් ගත්තේ පස්වෙනි කන්දට යන්න කියලා හිතාගෙන. ඊයෙත් අපි කිහිප දෙනෙක් හතරවෙනි කන්දට ගිහින් ආපහු හැරිලා ආවේ කුඩෑල්ලෝ එක්ක ඉන්න බැරිම තැන. රෑ මීදුමත් එක්ක අදික සීතලක් තිබ්බත් දෙයියන්ගේ පිහිටෙන් වැස්සෙන් නම් අපිට කරදර උනේ නෑ. ඒකටත් එක්ක හරියන්න පැයකට විතර සැරයක් නැගිටලා ටෙන්ට් එක ඇතුලට එන කුඩෑල්ලෝ ටික අයින් කරන්න වුණා. කොච්චර අයින් කරත් ටෙන්ට් එකේ දැලත් එක්ක හුලන් එන්න තියන කවුළුවෙන් මුන් එන එක නවත්තන්න බෑ.

උදෑසන හිරු එළිය වලාකුළු වලින් වැහිලා තියන වටේ කදු මුදුන් වලට වැටිලා කියාගන්න බැරි තරම් ලස්සනයි.



ඈතින් කෙහෙල්පද්දෝරුව, යහන්ගල, හුන්නස්ගිරි කන්ද, හන්තාන, තුන්හිස් ගල කදුත් හොදටම පේනවා. දෙවෙනි කන්ද මුදුනට එනකොට එකේ හෙවනැල්ල පහල ගමටයි කදු වලටයි වැටිලා හරියට අර ශ්‍රී පාදේ හෙවණැල්ල අනිත් කන්දට වැටිලා පෙන්නේ, අන්න ඒ වගේමයි පුදුම ලස්සනක් තියෙන්නේ.

මේ දෙවැනි කන්දට අද රෑ අපි ඉන්න හිතන් ඉන්න ගුහාව තියන අලුගල්ලෙන කන්ද මුදුනත් හොදට පේනවා. මිදුම අයින් වෙලා අව්ව හෙමිට කදු වලට වැටුන නිසාද කොහෙද ඊයේට වඩා අද කුඩෑල්ලෝ ගොඩක් අඩුයි.

හතරවෙනි කන්දෙයි පස්වෙනි කන්දෙයි ගොනුන්ගේ, මුවන්ගේ කුර සලකුණු පැහැදිලිවම දකින්න පුළුවන්. මොකද කදු නගින ගොඩක් අය එන්නේ මේ දෙවෙනි කන්ද මුදුනට වෙනකන් විතරක් නිසා. මීදුම නැති වෙලාවක පස්වෙනි කන්දට ගියාම අපි පහු කරන් ආපු මුල් කදු හතරම පිළිවෙලට බලාගන්න පුළුවන්. උදයන්ගයි, චින්තකයි, කවුශාලුයි හතරවෙනි කන්දේ නැවතුණා. සිසිත පලවෙනි කන්දෙම නැවතුනේ ඔහු මීට කලින් මාත් එක්කම මේ කදු පහටම ඇවිත් තියන නිසා. ඉදිකට්ටක් අත වනනවා වගේ ඔහු පලවෙනි කන්දේ ඉදන් අත වනනවත් අපිට බලාගන්න පුළුවන් උනා.ඊට අමතරව පස්වෙනි කන්දේ පිටිපස්සට ගියොත් ඈතින් තියන ලකේගල කොමලෑව, මිරියගොල්ල ගල යන කදුත් බලාගන්න පුළුවන්.


අපි ආයෙත් පලවෙනි කන්දට යනකොට පස්වෙනි කන්දේ තිබ්බ වේලිච්ච දර ටිකක් අරගෙන ගියේ මොනවා හරි හදාගෙන බඩට දාගන්න කියලා හිතාගෙන. අපි යනකොට මුලින් ආපු අය කුඩාරම් අකුලන්න පටන් අරන්. කෑමත් කාලා දවල් 11 විතර වෙනකොට අලුගල්ලෙන කන්ද පහල ගුවාවට එන්න ගමන පටන් ගත්තේ ඉතුරු උන වතුර බෝතල් බාගෙත් එක්ක. පලෙවෙනි කන්දට අනිත් පැත්තෙන් බහිනකොට ඈතින් හිදිලා යටවෙච්ච පරණ නගරය මතු උන දෙල්දෙණිය ජලාශයත් කදු අතරින් හරි ලස්සනට පේනවා. තව ටිකක් දුර යනකොට අපිට හම්බුනේ දිවියන් කාලා දාලා ඉතුරු උන ගොනෙක් ගේ ඇට කටු ටිකක්.

අපිට දැන් අපි අපු පැත්තට අනිත් පැත්තෙන් අපි නැගපු කදු මුදුන් පහ පේනවා. මීමුරේ පැත්තට එනකොට ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද එක වතුර පාරක සද්දේ ඇහෙන තැනකින් හැරෙන්න තියනවා එතැනිනි හැරෙන් නැතුව කෙලින්ම ගියොත් යන්න වෙන්නේ තන්ගප්පුව ගමට. දැන් දැන් කෑලේ වතුර පාරවල් අපිට හම්බවෙන්න පටන් අරන්. ඉතින් වතුර පරෙස්සමින් බොන එකේ ගැටලුව නම් දැන් අපිට නෑ.

හවස තුන විතර වෙනකොට තරමක් ලොකු ඇළ පාරක් ලගට එන්න අපිට පුළුවන් උනා. බැහැලා නාන්න තරම් වතුර නැති උනත් උයන්න ගෙනාපු බාජන වලට වතුර අරගෙන නාගෙන යන්න අපි අමතක කරේ නෑ. මොකද ආයේ වතුර හම්බුනාට මේ තරම් වත් ලොකු වතුර පාරක් ආයේ හම්බෙන එක ෂුවර් නැති නිසා.

තුනයි තිහ විතර වෙනකොට ආයෙත් වැහි වලාකුලක් පලාතම වහ ගත්තේ අපිව ගිලින්න හදනවා වගේ. ආයෙත් අඩිය ඉක්මන් කරේ වැස්සට කලින් අපි අද රෑ ඉන්න ගල් ගුහාවට යන්න කියලා හිතාගෙන. ටික දුරක් යනකොට හම්බුණේ අපූරු යාලුවෙක්. මුළු ලෝකෙටම දුම්බර වනයේ විතරක් ඉන්න කටුසු යාලුවෙක්, පත්‍ර අන් කටුස්සා.

ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික 285 දෙනා අතරින් විශේෂ 88 ක්ම දුම්බරින් වාර්තා වන අතර එය 30.9% ක ප්‍රතිශතයකි. මීට අමතරව ආවේණික සමනළ විශේෂ 5 ක් ඇතුළු විශේෂ 60 ක් මෙයින් වාර්තා වේ. උභය ජීවීන් විශේෂ 28 ක් වාර්තා වන අතර ඉන් 19 ක් ක් ආවේණිකයින් වන අතර, උරගයින් 54 දෙනකු අතරින් 24 දෙනකු ආවේණිකයන් වේ. මත්ස්‍යයන් විශේෂ 28 ක් අතරින් දුම්බර කඳුකරයේ ආවේණිකයින් 9 දෙනෙකු වෙසේ. ආවේණික පකෂීන් විශේෂ 30 ක් ඇතුළුව විශේෂ 128 ක් වාර්තා වන අතර වාර්තා වන කෂීරපායින් 31 දෙනකු අතරින් හය දෙනකු ආවේණික විශේෂ වේ. උභයජීවීන් අතරින් 7 දෙනෙකුද, උරග විශේෂ 3 ක් හා මත්ස්‍ය විශේෂ 3 ක් දුම්බර කඳුකරයෙන් පමණක්ම වාර්තා වන විශේෂ වේ. ඒ, දුම්බර පඳුරු මැඩියා, හොන්මාන්ගේ පඳුරු මැඩියා, විශාල පා ඇති පඳුරු මැඩියා, මූරිගේ පඳුරු මැඩියා, ස්ටෙයිනර්ග් පඳුරු මැඩියා, ස්ටූවර්ටිගේ පඳුරු මැඩියා සහ දුම්බර ගල්පර මැඩියා යන උභයජීවී විශේෂත්, දුම්බර ගල්පාඬියා, මල්පෙතියා හෙවත් දන්කුඩූ පෙතියා සහ දුම්බර පෙතියා යන මත්ස්‍ය විශේෂත්ය. සිව්පා උරඟුන් අතරින් දුම්බර අඟ කටූස්සා හෙවත් පත්‍ර අඟ කටූස්සා, දුම්බර කුරුකටූස්සා හෙවත් දුම්බර කුරු බෝදිලිමා සහ දුම්බර මහ කැළෑහූනා මෙම වනාන්තරයට පමණක් ආවේණික වේ. මීට අමතරව ලංකාවට ආවේණික පකෂි විශේෂ 33 අතරින් 30 ක්ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. මයිලගොයා, ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා, ලංකා හම්බූකුරුල්ලා, අඳුරු නිල් මැසිමාරා, කඳුකර මල්කුරුල්ලා, කැහිබෙල්ලා වැනි ආවේණික පකෂීන් මෙහි හොඳින් නිරීකෂණය කළ හැකිය. සංක්‍රමණික පකෂි විශේෂ 10 ක් පමණ ද මෙහිදී වාර්තා වේ. පේනවනේ මේ පරිසර පද්දති කොච්චර වැදගත්ද කියලා. ඒක නිසා කෙටියෙන්ම කියන්නම් ගියාට කමක් නෑ පරිසරයට ආදරේ කරන අය. එහෙම නැත්තම් නොගිහින් ඉන්න වග බලා ගන්න මොකද අපිට අන්තිමට යන්න ගෙදරක් තියනවා. මේවා විනාස උනොත් මේ සත්තුන්ට යන්න වෙන තැනක් නෑ.


කොහොම හරි වැස්සට කලින් ගුහාවට ගිහින් දර ටිකක් හොයාගන්න අපිට පුළුවන් උනා. දවල්ටත් කාලා නැති නිසා බඩේ පනුවෝ බල්ටි ගගහා හිටියේ. මායි, අරෝෂුයි, දුලිතයි ගල් තුනක් හොයලා ලිපක් පත්තු කරලා එළවලු ටික තම්බන්න පටන් ගත්තේ රෑ කෑම හදන්න කලින් ඒ ටික කාලා බඩ පුරෝගන්න. රෑ කෑම තමයි කෑම. ඒ කෑම වේල කාටවත් කවදාවත් අමතක වෙන එකක් නෑ. සැමන් තෙල්දාලා, පරිප්පුයි, අල හොදියි බතුයි එක්ක. දැනුත් මතක් වෙද්දී කටට කෙල උනනවා. වැස්සට කලින් ලොකු දර කෑලි ටිකක් හොයාගත්ත නිසා අපිට සීතලෙන් බේරෙන්න අද නම් ගිනිමැලයක් පත්තු කරගන්න පුළුවන් උනා.


තුන්වෙනි දවස..., මීමුරේ ගම්මානෙට පල්ලම් බහින්න තමයි අද තියෙන්නේ. ගුහාව වටේට තිබ්බ දිරන් නැති පොලිතින්, ටින් කෑලි ටිකත් එකතු කරගෙන එන්න පිටත් වෙනකොට උදේ 9 ට විතර ඇති. ටික දුරක් එනකොට අපිට හම්බුනේ කෑලෑ ස්ට්‍රෝබෙරි යායක්. ගමන් මලු පැත්තකට දාලා ඒවා කඩාගෙන කන්න පටන් ගත්තේ මන් විතරක්ම නෙවෙයි.

දුම්බර වනපෙත හෙවත් නකල්ස් කඳුවැටිය ඉපැරණි රාවණ රජූගේ බලපරාක්‍රමය පැතිර තිබූ රාජධානිය ලෙස සැලකේ. ඒ සඳහා පැහැදිලි සාධක නැතත්, දුම්බර වනපෙතේ පිහිටි ග්‍රාමනාම, පර්වත හා කඳු, ගුහා, වෙනත් භූ පිහිටීම් යනාදිය රාවණ රාජධානියට සම්බන්ධ බව කියනූ ලැබේ. වනපෙතේ හූදකලා ගම්මාන වන දන්දෙණි කුඹූර, පොත්තටවෙල, කහගල, දම්මන්තැන්න, දිවූල්ගස්පතන, ඇටන්වල, වැස්මූල්ල, රඹූක්ඔළුව, උඩගල දෙබොක්ක, ගලමූදුන, මීගහමඩ, මැදකැලේ, මීමූරේ, කයිකාවල, ගෝමරේ, වඩවලකන්ද, නෙල්ලිකැළේ, නාරන්ගමූව, වල්පොලමූල්ල ආශ්‍රිතව බැඳුණූ ජනප්‍රවාද මේ පිළිබඳව තවදුරටත් කරණූ කාරනා කියයි.

කිලෝ මීටර හතරක් විතර යනකොට හම්බුනේ වතුර පාරට අයිනෙන් වතුර පාර දිගේ පහලට ආපු අපිට මීමුරේ ගමට එන්න පුළුවන් උනා.එතකොට වෙලාව හවස හතරට විතර ඇති. අපි එදාම කොලබට එන්න පිටත් උනේ මන් මුලින්ම කිවුවා වගේ මීමුරේ ගම දැන් තනිකරම ව්‍යාපාරයක් වෙලා නිසා.


ලංකාවේ පරිසර පද්දතිය වේගයෙන් විනාශ වී යන මෙවන් කාලයකදී ඔබගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය විනාශ කරන්නේ නැතුව එය රැක බලාගන්නා ලෙසයි. ඔබ හුස්ම ගන්නා එක හුස්ම පොදක් පාසා ඔබ පරිසරයට ස්තූති විය යුතුයි. ඉතින් මිහි මවට ඔබ අවැසිය..., පරිසරය රැක ගැනීමට පෙලගැසෙමු. මතකයන් පමනක් ඉතිරි කර ගෙනියන සියලු දේ රැගෙන එන්න වග බලාගන්න.


Featured Posts
Recent Posts
Archive
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page